පෙර ලිපි
කොත්මලේ ඔය
අග්‍රා ඔයට දඹගස්තලා ඔය තිස්පනේදි හමුවෙලා තමයි කොත්මලේ ඔය හැදෙන්නෙ. ඉන් පස්සේ ගලන්නෙ තලවාකැලේ හරහා. තලවාකැලේ කියන්නෙත් ඉතාමත්ම සුන්දර නගරයක්. තලවාකැලේ පිහිටලා තියෙන්නෙ නුවර එළිය දිස්ත්‍රික්කයේ. තලවාකැලේ-ලිදුල නගර සභාව මගින් තමයි මෙහි පාලන කටයුතු සිදු කරන්නෙ. මුහුදු මට්ටමේ සිට අඩි 3,932 ක් උසින් කොළඹ නුවර එළිය A7 මාර්ගය ආශ්‍රිතව තමයි තලවාකැලේ නගරය පිහිටලා තියෙන්නෙ. තලවාකැලේදි තමයි කොත්මලේ ඔයට එකතු වන තවත් අතු ගංගාවක් වන නානු ඔය කොත්මලේ ඔයට එකතු වෙන්නෙ. නානු ඔය කියන්නෙත් බොහොම සුන්දර ඔයක්. බලන්නම වටිනව. නානු ඔය ආරම්භ වෙන්නෙ නුවර එළිය නගරයෙන්. ඉතින් ඒ නිසා නානු ඔයේ මුල් දියත්ත හොයාගෙන අපි යමු නුවර එළියට.
නුවරඑලිය, ග්‍රෙගරි වැව සහ නානු ඔයේ මුල් දියත්ත
නුවරඑලියෙ අතීතය ගැනත් අපි යමක් මතක් කරගෙනම ඉන්න එක හොදයි කියල අපි හිතනව. 1819දී තමයි දොස්තර ජෝන් ඩේවි විසින් නුවරඑලිය සොයාගනු ලබන්නේ. 1819 දි ඔහු කොත්මලේ පැත්තෙ ඉදන් ගිගිලියාමාන කන්ද හරහා මේ කදුකර වනාන්තරය තරණය කරනව. මොකද ඒ වන විට මේ නුවර එළිය කියන්නෙ මහා ඝන වනාන්තරයක්. අඩිපාරක් පමණක් ඒ කාලේ තිබුන බව ඉතිහාස වාර්තාවල සදහන් වෙනව. නමුත් ඔහු දකිනව එංගලන්තයට සමාන දේශගුණයක් තියන සුව පහසු පළාතක් මෙහි තියන බව. ඔහු වහාම වාර්තා කරනව මෙය ඔවුන්ගෙ වාසස්ථාන වලට ඉතාමත් සුදුසුම ප්‍රදේශයක් බව. මෙන්න මේ කියන ජෝන් ඩේවිගේ වාර්තාව අනූව තමයි නුවර එළිය ඉතාම වටිනා නගරයක් බවට පත් කරන්න සුදු ආන්ඩුව තීරණයකට එන්නෙ.
මේ දොස්තර ජෝන් ඩේවිගෙ වාර්තාව කිවයන්නේ එවකට ලංකාවේ ආණ්ඩුකාර ධුරය දැරූ එඩ්වඩ් බාන්ස්. ඔහු මේජර් ස්කිනර් වාහාම එවනව මෙයට පිවිසෙන පිවිසුම් මාර්ගය හදන්න. මේජර් ස්කිනර්ගෙ මැදිහත්වීමෙන් රම්බොඩ හරහා නුවර එළියට පිවිසෙන මාර්ගය හදනව. ඉන් පසුව 1835දී මුලින්ම එඩ්වඩ් බාන්ස් තමන්ගෙ භාවිතය සදහා ඔහුගේ වියදමෙන් පවුම් අටසීයක් වියදම් කර බාන්ස් හෝල් කියන ගොඩනැගිල්ල හදනව. ඒ ගොඩනැගිල්ල ප්‍රතිසංස්කරණය කරල තමයි වර්ථමාන ග්‍රෑන්ඩ් හෝටලය හදන්නෙ. බාන්ස් හෝල් තමයි නුවර එළියෙ හදන පළමුවැනි බංගලාව. ඉංග්‍රීසීන් විසින් ලංකාවට ගෙන ආ අප්‍රිකානු කාපිරි හමුදාවෙ හැත්තෑවක් පමණ සොල්දාදුවන් විසින් තමයි මුලින්ම මෙහි මාර්ග ඉදිකිරීමට දායක වන්නෙ. එතැන් පටන් ක්‍රමක්‍රමයෙන් නුවර එළිය නගරය දියුණු වෙනව වගේම සුදු ජාතිකයන්ගේ නොමද ආදරයට පාත්‍ර වෙනව.
1872දී ආණ්ඩුකාරවර ධූරයට පත් වෙන්නෙ සර් විලියම් හෙන්රි ග්‍රෙගරි. ඔහුගේ කාලයේදි තමයි නුවර එළියේ සුන්දර ග්‍රෙගරිවැව නිර්මාණ වෙන්නෙ. ඒ වෙනුවෙන් ඔහු පවුම් 1200ක් වියදම් කරනව. ඔහු ජල කළමණාකරනයත් එක්ක බොහොම සම්බන්ධ කෙනෙක්. ග්‍රෙගරි වැව සැදෙන්නෙ නුවරඑලියෙ තිබෙන උස් බිමක පිහිටි පහත් සානුවක. මේ වැව නුවර එළියෙ වතු වැවිල්ලට වගේම බෝග වගාවට බොහොම සම්බන්ධ වෙන තැනක්.
ඉතින් අපි මේ නුවර එළීය ගැනත් ග්‍රෙගරි වැව ගනත් කතා කලේ විශේෂ කාරණයක් නිසා. ඒ තමයි අපි මුලින්ම කතා කරපු නානු ඔය ආරම්භ වෙන්නෙ. ග්‍රෙගරි වැවට ජලය ලැබෙන්නෙ පිදුරුතලාගල කන්දෙන්. පිදුරතලගල දකුණු දිශාවෙන් ගලන දිය සීරාවන් සැතපුම් දෙක හමාරක් පමණ දුර ගෙවාගෙන නුවර එළිය හරහා ඇවිත් තමයි ග්‍රෙගරි වැවට ජලය සපයන්නෙ. මෙන්න මේ ග්‍රෙගරි වැවෙන් පිටාර ගලන ජලයෙන් තමයි නානු ඔයේ ආරම්භය සිද්ධ වෙන්නෙ. ඒ කිවුවෙ මුහුදු මට්ටමේ ඉදන් අඩි 6150ක් පමණ උසින්.
නානු ඔයේ මුල් දියත්ත ආරම්භ වන්නේ ග්‍රෙගරි වැවේ පිට වානෙනි |
නානු ඔයේ මුල් දියත්ත පිහිටන ස්ථානය Google Map ආධාරයෙන් |
මෙහි Street view බැලීමට මෙතනින් යන්න
මෙතැනින් පටන් අරන් සැතපුම් 12ක් ගෙවාගෙන ගිහින් මේ ජල කද කොත්මලේ ඔයට එකතු වෙනව.
සුන්දර නානු ඔය තලවාකැලේ හරහා ගලන අපූරුව |
කොල්මලේ ඔය එතැන් පටන් බොහොම සුන්දර ප්‍රදේශයක් පසු කරගෙන යනව. මෙය බොහොම වංගු හෙල් සහිත ප්‍රදේශයක් පසු කරගෙන ගලාගෙන යනව කොත්මලේට. මේ ප්‍රදේශයේ විච්චින්න සානුව ලක්ෂණ තමයි පෙන්වන්නෙ. ඒ කිවුවෙ වෙනස් භූ විෂමතා ලක්ෂණ පෙන්වන සානුවක්. ඒ නිසාම මෙහි දියඇලි බොහොමයක් දිකින්න පුලුවන්. ඉදරියේදි සෙන්ට් ක්ලෙයාර්ස් ඇල්ල වගේම ඩෙවෝන් ඇල්ලත් මෙහි දකින්න පුලුවන්.
ගග දිගේ සන්චාරය කල ජැක්සන් ඇන්තනී සහ ප්‍රවීන රාෆ්ටින් ක්‍රිඩක චන්න පෙරේරා ඇතුලු කණ්ඩායම 2005 දී ඩිංකි පැද්ද කොත්මලේ ඔයේ වංගුව |
එම වංගුව සහිත ස්ථානයෙන්ම අද ඉහළ කොත්මලේ ජලවිදුලි යෝජනා ක්‍රමය යටතේ අදාල වේල්ල ඉදිකල පසුව පෙනෙන අයුරු. |
සෙන්ට් ක්ලෙයාර්ස් ඇල්ල
දැන් අපි මේ කතා කරගෙන ආව මාර්ගය යළි මතක් කලොත්, මුලින්ම හෝර්ටන් තැන්නෙන්, තොටුපොල කන්දෙන් සහ අග්‍රා බෝපත් කදු වලින් ඇද හැලනෙ දිය සීරාවල් එකතු වෙලා අග්‍රා ඔය හැදෙනව. අග්‍රා ඔයට තිස්පනේදි දඹගස්තලා ඔය එකතු වෙලා කොල්මලේ ඔය හැදෙනව. ඒ කොත්මලේ ඔයට තලවා කැලේදී නානු ඔය එකතු වෙලා කොල්මලේ ඔය තවත් ශක්තිමත් වෙලා ඉස්සටහර ගලාගෙන යනව. ඒ යන අතරමගදි තමයි මුහුදු මට්ටමේ ඉදන් අඩි 3500ක් විතර උසින් අපිට මුනගැහෙනව සෙන්ට් ක්ලෙයාර්ස් ඇල්ල. ශ්‍රී ලංකාවේ සුන්දර දිය ඇලි වලින් එකක් වන සෙන්ට් ක්ලෙයාර්ස් දිය ඇල්ල උසින් 20 වැනි ස්ථානය ලබා ගන්නව. එය අඩි 263ක් නොහොත් මීටර් 80 උසකින් යුක්තයි. නමුත් අද වන විට මේ දිය ඇල්ල තර්ජනයකට ලක් වෙලයි තියෙන්නෙ. ඒ ඉහළ කොත්මලේ ජල විදුලි යෝජන ක්‍රමය යටතේ ඉදිවුන ජලාශය හේතුවෙන් මේ දිය ඇල්ලට සැපයෙන ජලය ප්‍රමාණය සීමිත වෙලායි තියෙන්නෙ.
සෙන්ට් ක්ලෙයාර්ස් ඇල්ල |
ඉහළ කොල්මලේ ජල විදුලි යෝජනා ක්‍රමය
කොත්මලා ඔය හරස්කොට මීටර් 180ක් දිග, මීටර් 355ක් උස කොන්ක්‍රීට් වේල්ලක් ඉදිකර ඇත. පරිසර හානිය අවම වන පරිද්දෙන් මෙගාවොට් 150ක ස්ථාපිත ධාරිතාවයක් සහිතව, වාර්ෂිිකව ගිගාවොට් පැය 409ක විදුලි ශක්තියක් ඉහළ කොත්මලේ බලාගාරයෙන් අපේක්ෂා කෙරේ. මෙතෙක් ශ්‍රී ලංකාවේ ඉදිකළ දිගම උමං මාර්ගයේ හිමිකම ඉහළ කොත්මලේ ජල විදුලි ව්‍යාපෘතිය සතු වන අතර එහි දිග කිලෝමීටර 12.9ක්ද, විෂ්කම්භය මීටර් 5.2ක්ද වේ.
ඉහල කොත්මලේ වේල්ල |
නියංගම්දොර ප්‍රදේශයේ ඉදිවූ මීටර් 37ක් පළල, මීටර් 130ක් දිග වහරු අංගනයක් සහිත මෙම ව්‍යාපෘතිය සතු භූගත විදුලි බලාගාරය දිගින් මීටර් 66කින්ද, පළලින් මීටර් 19කින්ද යුක්ත වන අතර උස මීටර් 36කි. කිලෝ මීටර් 18ක දිගකින් යුත් ඉහළ කොත්මලේ ජල විදුලි ව්‍යාපෘතිය සතු සම්ප්‍රේෂණ මාර්ගය,කිලෝ වෝල්ට් 220ක ධාරිතාවයකින් යුක්තවේ.
මෙහි දී ජලය එකතු කරගෙන විදුලි බලය නිපදවීමක් සිදු නො කෙරෙයි. මෙතැන දී කොත්මලේඔයෙන් ගලා යන ජලය කුඩා විලක් වැනි ජලාශයකට යවා එතැනින් උමගක් ඔස්‌සේ භූගත බලාගාරය වෙතට යවා විදුලිය නිපදවීමක් සිදු කෙරෙයි. මෙම ක්‍රමය Run-of-the-river hydroelectricity යනුවෙන් හැඳින්වෙයි.
ඉහළ කොත්මලේ ජලාශය Google Maps මගින් |
කොත්මලේ ඔය මේ විදියට පහළට ගලාගෙන යනකොට සෙන්ට් ක්ලෙයාස්
ඇල්ලට මදක් නුදුරින් අපිට තවත් ඇල්ලක් හම්බ වෙනව. ඒ තමයි ඩෙවොන් ඇල්ල.
ඩෙවෝන් ඇල්ල
ඩෙවෝන් ලංකාවෙ තියන ලස්සනම ඇල්ලක්, ඒ වගේම ගොඩක් ජනප්‍රියයි.මොකද කියනවනම්. මේ ඇල්ල. පිහිටල තියෙන්නේ හැටන් නුවරඑළිය ප්‍රධාන මාර්ගය අසල. ඒ මාර්ගයේ යන ඕනෑම නෙකුට පාරේ සිට පහසුවෙන් දිය ඇල්ල දැක බලාගන්න පුළුවන් විදිට තමයි ඇල්ල පිහිටලා තියෙන්නෙ. දිඹුල ප්‍රදේශයේ මේ ඇල්ල අපූරුවට නැරඹීමට හැකි අයුරින් නැරඹුම් මැදිරියකුත් හදල තියනව වාහන පාකින් වගේම ගමන් විඩාව නිවා ගැනීමට හැකි වන ලෙසට ඒ අසල ප්‍රසිද්ධ තේ අවන්හලකුත් තියනව.
මේ දිය ඇල්ලෙ උස මීටර් 97 වෙනවා. ඇල්ල නිර්මානය කරන්නේ කොත්මලේ ඔය. කොත්මලේ ඔය කිවුවට ඇත්තටම මේක කොත්මලේ ඔයම නෙමෙයි. මෙය තලවාකැලේ හරියෙදිම කොත්මලේ ඔයට එකතු වෙන කුඩා අතු ගංගාවක්. මෙහි නම සිතියම් පොත් වලත් පැහැදිලිව සදහන් වෙලා නැහැ. එඩ්වඩ් බාන්ස් නම් ආණ්ඩුකාරවරයා 1823දී ගන්නෝරුව ප්‍රදේශයෙන් මෙරට කෝපි වගාව ආරම්භ කල සමයේ එන්ගලන්තයේ ඩෙවෝන්ෂයර් හි සිට ලංකාවට පැමිණී ඔහුගේ හිතවතෙකු වන ඩෙවෝන් විසින් කෝපි වතුයාය අසල පිහිටි මෙම ඇල්ලට ඩෙවෝන් යන නම තියල තියනව.
මිලගට ගග දිගේ අපි ඇවිද යනකොට අපිට හමු වෙනව මල්දෙණිය, කලපිටිය, ඕතලාව කියන කොත්මලේ ගම් පළාත්. ඔය මල්දෙණිය හරියෙදි තමයි පූඩලු ඔය කොත්මලා ඔයට එකතු වෙන්නෙ. මේ හරියට අපිට පෙනෙනව කොත්මලේ ජලාශයේ මෙපිට ඉම.
මේ හරියෙදි අපිට හමු වෙනව මොණරා ඇඩු ගල. මේ මොනර ඇඩූ ගල ගැමුණු කුමාරයාගේ කථාවටත් ගොඩක් සම්බන්ධයි. ගැමුණු කුමාරයා කොත්මලේට ඇවිත් කඩදොරෙන් ඇතුල් වෙලා ඔය මොණරා ඇඩූ ගල හරියෙ ඉදගෙන තමයි වී ඉසුරු ගෙදරට එන්න පාර එහෙම බැලුව කියල කියන්නෙ.
ඉතින් කොත්මලේ ජලාශයට යන්නට කලින් අපිට හමුවෙනව තවත් සුන්දර දිය ඇල්ලක්. ඒ තමයි ඩන්සිනන් ඇල්ල.
ඩන්සිනන් ඇල්ල
පූඬලුඔය - නුවරඑළිය මාර්ගයේ තමයි මේ දියඇල්ල තියෙන්නේ. මේකටත් නම් තුනක් තියෙනවා. කට්ටියක් මේක පූඬලුඔය ඇල්ල කියලා කියනවා. තව කට්ටියක් මේකට ඩන්සිනන් ඇල්ල කියලා කියනවා. තවත් පිරිසක් මේකට ෂීන් ඇල්ල කියලා කියනවා. කොහොම හරි, මේ තමයි පූඬලු ඔයෙන් නිර්මාණය වුණු අපූරු ඩන්සිනන් ඇල්ල.
මේක පූඬලු ඔයෙන් නිර්මාණය වුණ නිසා මේකට පූඬලු ඔය ඇල්ල කියලා කියනවා. මුහුදු මට්ටටම් සිට අඩි 5500ක් පමණ ඉහළින් පිහිටි ග්‍රේට් වෙස්ටර්න් කදු වැටියෙ තමයි මේ පූඩලු ඔයේ මුල් දියතු පිහිටන්නෙ. මෙය පූඩලු ඔය සැතපුම් අටක් පමණ ගෙවාගෙන පූඩලු ඔය නගරය හරහා ගලගෙන ගිහින් මල් දෙණියෙදි කොත්මලේ ඔයට එකතු වෙනව. මේ ඇල්ල දෙපැත්තේ තියෙන්නේ විශාල තේ වතු දෙකක්. එකක් ඩන්සිනන් වත්ත. අනෙක තමයි ෂීන් වත්ත. මෙන්න මේ වතු දෙකේ නම් නිසා තමයි ඇල්ලට අනිත් නම් හම්බවෙලා තියෙන්නේ. මේ ඇල්ල අසලම තිබෙන හින්දු දේවාලය හා දේවාලයේ එක් සරස්වතී පිළිමයක් දියඇල්ල මැද තබා තිබීම කියන දේවල් නිසාත් ඇල්ලට සුවිශේෂිත්වයක් ලැබිලා තියෙනවා. එක අතකට ඒක එක්තරා පූජනීයත්වයක්. කොහොම හරි මේ පූඬලු ඔය ඇල්ල නුවරඑළිය දිස්ත්‍රික්කයේ කොත්මලේ ප්‍රදේශිය ලේකම් කොට්ඨාසයේ තමයි පිහිටලා තියෙන්නේ. මේ ඇල්ල තට්ටු තුනකට තමයි පිහිටලා තියෙන්නේ. ඇල්ලේ තට්ටු තුනෙන් ඉහළම තට්ටුව, ඒ කියන්නේ පූඬලුඔය - නුවරඑළිය මාර්ගයේ යද්දි පෙනෙන කොටස තමයි උසින් අඩුම නමුත් ලස්සනම කොටස. ඒ කොටස සාමාන්‍ය ඇල්ලකට වඩා පළලින් වැඩියි. හැබැයි උසින් අඩුයි.
ඇල්ලේ ඉතිරි කොටස් දෙකත් එක්කම ගත්තාම මේක අඩි 330ක් පමණ උසින් යුක්තයි කියලා තමයි පොතේ තියෙන්නේ. ඈත ඉඳලා බැලුවාම ඇල්ලේ තට්ටු තුන් හා පළවෙනි - දෙවෙනි තට්ටු මැදින් වැටිලා තියෙන ප්‍රධාන මාර්ගය අපූරැවට දකින්න පුළුවන්. මෙරට මෙන්ම විදෙස් රටවල සිට එන සංචාරකයින්ගෙනුත් විශාල ආකර්ෂණයක් මේ ඇල්ලට තියෙනවා.
ඉතිරිය මීලග කොටසට
සටහන - චතුරංග ජයසුන්දර
ගොඩක් කාලෙකට පස්සේ තමයි බ්ලොග් කියවන්න ආවේ . ටික දවසකට කලින් ඔයාලගේ බ්ලොග් එක මතක් වුණා තවමත් ලියනවද දන්නේ නැහැ කියලා . දැක්කම සතුටුයි . මුල් ලිපිත් කිය්වගෙනම එන්නම් . ජය වේවා !
ReplyDeleteස්තූතියි වයලීනෝ
Delete