Sri Lanka

Thursday, July 18, 2019

මහවැලි ගඟ දිගේ - හද බිමේ ඇවිද යමු.. 06

පෙර ලිපි
මහවැලි ගඟ දිගේ - හද බිමේ ඇවිද යමු.. 05




ඓතිහාසික කොත්මලේ වංශකතා දිගේ ඇවිද යමු

ගැමුණු කුමාරයා කොත්මලේට ඇතුළු වුන දෙහදු කඩුල්ල (කඩදොර)

අනුරාධපුර පාලකයා බවට පත්ව සිටි ආක්‍රමණික එළාර රජුට එරෙහි ව බල මුළු එක්රැස් කරමින් උපක්‍රමශීලී ව කටයුතු කළ කාවන්තිස්ස රජතුමා, ඥාති සබදතා මගින් විවිධ ප්‍රදේශවල බලවත් ව සිටි ප්‍රාදේශීය නායකයන් හා සන්ධාන ගත විය. දහසය හැවිරිදි නව යොවුන් ගැමුණු කුමරු එළාර රජුට එරෙහි සටනට අවසර පැතූ බවත්, කාවන්තිස්ස රජු තෙවරක් ම එම ඉල්ලීම ප්‍රතික්ෂේප කළ බවත් සදහන් ය. පසුව ගැමුණු කුමරු පිය රජතුමා කාන්තාවක ලෙස සලකා ගැහැණු පළදනා යවා කොත්මලේ ප්‍රදේශයට පැන ගිය බව මහාවංශය, සිංහල ථූපවංශය, රාජාවලිය වැනි කෘතිවල සදහන් වේ.

මාවිලි ගඟින් එගොඩ යන්ඩ අවසර නොදී කුමාරයන් රැකගන්ඩ ඕනෑ නිසා තුන්වරක් එපාය කියා පත් ලියා පුතණුවන් ස්වමීපයට ඇරියාහ. සතරවෙනිවර ගෑනුන් පළදින ආභරණ එවා මපියරජ ගෑණිය,පිරිමියෙක් නොවෙයි  කියා ගෑනු පළදින ආභරණ එවූසේක. පියාණන් ඊට සිත කෝපව සැණෙකින් මේ කුමාරයා නසිති කියා රැහැණිව උදහස්ව හිර කරමි සිතා පියරජ කී බසට ගීලීමලයට ගොසින් සැගවී කිපදවසක් සිට කොත්මලයට ගිය සේක.” (රාජාවලිය – ඒ.වී සුරවීර සංස්කරණය)

රාජාවලියෙහි සදහන් වෙන මේ සිද්ධිය වෙලා තියෙන්නෙ ක්‍රි.පූ 148දී විතර. ඉතින් අපේ මේ ගැමුණු කුමාරයා කොත්මලේට ඇවිත් තියෙන්නෙ ඔය ගුත්තහාලක පැත්තෙන් ගිලීමලේ පැත්තෙන් ඇවිත් කොත්මලේට ඇතුල් වෙලා තියෙන්නෙ අපි මේ කියන දෙහදු කඩුල්ලෙන්. ගැමුණු කුමාරයා මේ දෙහදු කඩුල්ලෙන් ඇතුලු වෙලා තමන්ගෙ රාජාභරණ ගලවලා සාමාන්‍ය ඇදුමින් සැරසිලා තමන්ගෙ කඩුව හැන්ගුවාලු ඒ අසල තිබුන විශෘල නුග රුකක. ඒ නුගය දෙකඩ වුනාලු. ඒ නිසත් මෙහෙට දෙහදු කඩුල්ල කියල කියනවලු. තවත් කථාවක් තමයි මේ අසල කඩුව හංගපු නිසා මෙතෙන්ට කඩු දොර කියල පසු කාලෙක කඩදොර නමින් හැදින්නුවා කියල. 


කඩදොර කන්දේ පිහිටි ගැමුණු කුමාරයා කොත්මලේට ඇතුලුවුන හැබෑ කඩදොර


මහරජ ගැමුණු චිත්‍රපටයේ එම කඩදොර ප්‍රති නිර්මාණය කර තිබුන අයරු.

කොහොම වෙතත් අපිට හිතන්නට තියෙන්නෙ මහත් කැපවීමෙන් උපක්‍රමශීලීව රට පුරා බල මුළු රැස්කළ කාවන්තිස්ස රජතුමා රජකම හිමි ගැමුණු කුමරුට මෙතරම් කලක් කොත්මලේට වී සිටීමට ඉඩ දුන්නේ ඇයි ද යන ප්‍රශ්නය යමෙකුට නැඟිය හැක. තම ආදරණීය වැඩිමල් පුතනුවන් මාගමට ගෙන්වා නො ගෙන කොත්මලයට වී සිටීමට විහාරමහා දේවිය ඉඩ දුන්නේ යම් කරුණක් නිසා විය හැක. ගැමුණු කුමරු කොත්මලේ ප්‍රදේශයේ සිටි බව විහාරමහා දේවි තොමෝ ඉතා හොදින් දැන සිටියා පමණක් නොව තම නියෝජිතයන් හරහා නිතර නිතර තොරතුරු ද සොයා බැලුහ.

කොත්මලේ ප්‍රදේශයේ ජනප්‍රවාද අනුව කොත්මලේ යනු ඈත අතීතයේ සිට යක්ෂ ගෝත්‍රික ජනයාගේ මුල් බිමකි. කොත්මලය හැරුණු විට බුත්තල, දිඹුලාගල, රිටිගල, ලග්ගල, මහියංගනය, වැනි ප්‍රදේශ ද යක්ෂ ගෝත්‍රික ජනතාව බහුල ලෙස ජීවත් වූ ප්‍රදේශ ලෙස සැලකේ. කොත්මලේ ඉතිහාසය හා සමාජ තොරතුරු පිළිබද ගවේෂණයක යෙදෙන විමල් රණතුංග මහතා පවසන පරිදි කොත්මලේ ගම්මාන අදටත් එම අනන්‍යතාව රැකගෙන ඇත. යක්ෂ ගෝත්‍රික පාලකයෙකු යැ යි පැවසෙන රාවණා රජු සමග ද කොත්මලේ සම්බන්ධතාවයක් ඇත. රාවණාගොඩ නමින් හදුන්වන ප්‍රදේශයක් කොත්මලේ ඇති අතර, කීර්ති ශ්‍රි රාජසිංහ රජු දවස අලුත් කොඩියක් හදුන්වා දෙන තුරු කොත්මලේ දිසා කොඩිය වූයේ ද රාවණා රජුගේ රුව සිත්තම් කළ එකකි. පසුව එම කොඩිය හේවාහැට කොඩිය බවට පත් විය.

පර සතුරන්ට විරිදිව යුධ පවුරු බැද

හේවාහැට වලපනේ කොත්මලේ සොද

සිංහල සෙනග රාවන කොඩිය යට හිද

රණ කෙළි පෑ අයුරු කෙතරම් ලස්සනද

සිංහල ජාතිය බිහිවීම පිළිබද ප්‍රවාදයට අනුව පණ්ඩුකාභය රජු දවස යක්ෂ, නාග, දේව සහ සිංහ ගෝත්‍රිකයන්ගේ සහභාගීත්වයෙන් එය සිදු විය. සිංහල ජාතියේ ප්‍රමුඛ ධාරාව යක්ෂ ගෝත්‍රිකයන් වුව ද දේශපාලන වශයෙන් සිංහ සහ නාග ගෝත්‍රිකයන්ට ප්‍රමුඛතාවයක් හිමි වූ බව පෙනී යයි. විශේෂයෙන් දේශපාලන වශයෙන් තමන්ට හිමි වූ බලය පිළිබද යක්ෂ ගෝත්‍රිකයන් එතරම් සෑහීමකට පත් නො වූ බවත් එහෙයින් සිංහ-යක්ෂ ගෝත්‍ර අතර දිගු කලක් විහිද ගිය අරගලයක් පැවති බවත් පෙනී යයි. කාවන්තිස්ස රජතුමා මේ අරගලය පිළිබද ව හොදින් දැනුම්වත් වී සිටින්නට ඇත. එළාර රජු සමග සටනට ගැමුණු කුමරුට අවස්ථාවක් ලබා නොදුන්නේ මේ ප්‍රශ්නය නිසි පරිදි විසදාගෙන නො තිබූ හෙයින් විය හැකි ය.

යක්ෂ ගෝත්‍රිකයන්ගේ රජදහනක් වූ කොත්මලයට ගැමුණු කුමරු පිටත් වන්නේ පලා යෑමකට වඩා කාවන්තිස්ස – විහාරමහාදේවි දෙපලගේ අනුදැනුම ද ඇති ව විය හැක. එළාර පරාජය කිරීමට නම් මේ රටේ යක්ෂ ගෝත්‍රිකයන්ගේ සහාය දිනා ගැනීම අනිවාර්යයෙන් ම කළ යුතු බව ඔවුන් තීරණය කරන්නට ඇත. එම සහය ලබා ගැනීමටත් ,ගැමුණු කුමරුට කරුණු අවබෝධ කර ගැනීමට ඉඩ සැලසීමටත් දුරදක්නා නුවනින් යුතු වූ කාවන්තිස්ස විහාරමහාදේවි දෙපල සිය නව යොවුන් පුතු කොත්මලයට පිටත් කර හරින්නට ඇත.

කොත්මලේට නම ලැබුණු හැටි

කොත්මලේට නම ලැබුණු විදිය ගැන ජනප්‍රවාද ගොඩක් තියනව. එයින් එකක් ඔප්පු කෙරෙන සාධකයක් අපිට කොත්මලේ කොත්තුන්ගොඩ ගමේදි අපිට හම්බ වෙනව. ඔන්න ඉස්සර කාලෙ දවසක ගුරුන්නාන්සෙ කෙනෙක් තොවිලෙකට ගිහින් මේ කන්ද උඩින් එනකොට එකපාරටම මේ කන්දෙන් මහා අගින් විදාරණයක් වෙනව දැක්කලු. කොත් තුනක් හා සමාන ගිණි දළු තුනක් මතු වුනාලු. රන් කොත් තුනක් හා සමාන කොත් තුනක් මතු වුන නිසා සන්තෝෂයට පත් වුන ගුරුන්නාන්සෙ තමන්ගෙ බෙරය ගහන්න ගත්තලු. ඒ සද්දෙ ඇහිච්ච ගම්මු දුවගෙන ඇවිත් මේ කොත් තුන නැරඹුවා. ඒ නිසා මේ කොත් මතු වුන කන්ද කොත්මලේ බවට පත් වුනාලු. කොත් තුනක් මතු වුන ගොඩ කොත්තුනුගොඩ නමින් හැදින්නුවාලු කියල තමයි ඒ ජනප්‍රවාදයේ තියෙන්නෙ.

කොහොම වෙතත් මේ කාරණය ඇත්ත වුනත් නැතත් මේහි සදහන් වෙන ස්ථානයේ විශෘල භූ පැල්මක් දකින්න පුලුවන්. කොත්තුනුගොඩ ගමේ වැසියන් කියන විදියට මේ භූ වලවල් වලට තමන්ගෙ ගවයන් ආදිය වැටුනොත් නැවතත් මතුවෙන්නෙ කොත්මලේ ජලාශයෙන්. කෙසේ වෙතත් මෙය භූ විදාරණිත ලක්ෂණයක්. මෙය භූමියේ විභාල පැල්මක්. සමහර විට මෙයින් ආපු රන්කොත් යනු ගිණිකදු වලින් මතු වෙන මැග්මා ධාරාවක් වෙන්නට පුලුවන්. භූ විද්‍යාත්මක පරීක්ෂණයක් කලොත් මෙහි ඇත්ත නැත්ත දැනගන්නට පුලුවන්. කෙසේ වෙතත් මේ විදාරණය ගැන මානව සාධකයක් ඉතිරිවෙලා තියනව. ඒ තමයි ‍නමක් වැටිල තියනව කොත්මලේ කියල.


කොත්තුනුගොඩ කොත් වලවල්

අපි පුසුල්පිටිය පන්සලට යමු

කොත්මලේ ජනප්‍රවාද අතර කිරීට මානික්‍යයක් සේ බැබලෙන්නෙ පුසුල්පිටිය පන්සල. මේ පන්සලට නම ලැබුන විදිය ගැනත් ඉතාම සුන්දර ජනප්‍රවාදයක් තියනව. කොත්මලේ කියන්නේ කදු වළල්ලකින් වටවෙච්චි ගමක් වගේම නානාප්‍රකාර ජනකතා වලිනුත් පිරිච්ච ගමක්... සත්‍ය අසත්‍යතාව කොහොම වුනත් අපුරු රසවත් බවක් මේ ජනකතා වල කැටි වෙලා තියෙනවා .  මේ කතා අතර පොන්න නැකැත්තා සම්බන්ධ කතා හරි අපුරු ඒවා.. මේ නම අහද්දි කාට හරි හිතෙන්න පුළුවන් මේක කුණුහරුපයක් වගේනේ කියලා.. ඒත් මේක දෙමළ භාෂාවෙන් ආපු වචනයක්..දෙමළෙන් (තෙළිගු) "පොන්" කියලා කියන්නේ රත්තරන් වලටලු.මේක තෙළිගු බමුණු කුළයක නමක් විදිහටයි සලකන්නේ.මේ පරම්පරාව නක්ෂත්‍රය ගැන ඉතා විශාල දැනුමක් ඇති අය. මේ විදිහට මේ පරම්පරාවේ කෙනෙකුට පුස්කොළ පොතක් හම්බ වෙලා තියෙනවා. රාවණා රජතුමාගේ කාලේ නිදන් කරපු රත්තරන් පුහුලක් ගැන තොරතුරු මේ පොතේ තිබිලා ඔහු ලංකාවට එනවා මේ රත්තරන් පුහුල ගන්න. මේ පොන්න නැකැත්තා එන්නේ කොත්මලේට. ඒ මේ නිධානේ තිබුනේ කොත්මලේ මාවෙල කියන ගමේ නිසා.මෙහෙම ආපු ඔහු කොත්මලේ පදිංචි වෙලා ඒ ගමේම කාන්තාවක් විවාහ කර ගන්නවා. මේ විවාහයේ යටි අරමුණ වුනේ නිධානේ ගන්න අවශ්‍ය බිල්ල සදහා ඔහුගේම කුළුදුල් දරුවෙක් ඇති කර ගැනිමයි. කෙසේ වෙතත් ඔවුන්ට උපදින දරුවා බිලි දිලා පොන්න නැකැත්තා මේ රත්තරන් පුහුල ගන්නවා..(ගැරඩි ඇල්ල, රම්බොඩ ඇල්ල කියන දියඇලි වල නම් හැදුන හැටි කියවෙන ජනකතා වල තියෙන්නෙත් මිට සමාන කතාවක්) ඒත් එක ගල් තලාවකදි ඔහු වෙහෙස නිමා ගැනිමේ අදහසින් රන් පුහුල ගල් තලාවේ තියලා වතුර ටිකක් බොන්න යනවා. ඒහෙම යනවත් එක්කම ගල්තලාව ඉරි තලලා රන් පුහුල යට ගියා කියලයි මේ ජනකතා වල කියවෙන්නේ.රන් පුහුල යට ගියපු තැන අද හදුන්වන්නේ පුසුල්පිටිය කියලා. පුසුල් පිටිය රජමහා විහාරයේ තමයි අතිතයේදි ධන්තධාතුන් වහන්සේත් සගවලා තිබුනේ. රන් පුහුල නැති වුන එක ගැන ඇතිවෙච්ච කම්පනයත් එක්ක ජිවිතේ නැති කර ගන්න හදපු පොන්න නැකැත්තා බේරගෙන තියෙන්නේ හාමුදුරුවො කෙනෙක් . මේ හාමුදුරුවන් ගෙන් බණ අහලා පොන්න නැකැත්තා බෞද්ධයෙක් වුනා.මේ විදිහට ලංකාවට ආපු පොන්න නැකැත්තාගෙන් පැවත එන පරම්පරාව නක්ෂත්‍රය ගැනත් ගණිත කර්ම ගැනත් හසල දැනුමක් ඇති අය නිසා ඔවුන්ට හැකි වෙනවා රාජ සභාවට ගිහින් රජු වෙනුවෙන් සේවය කරන්න.


පුසුල්පිටිය පන්සලට ගමන් කිරීමට ඇති යකා බැන්ද පඩිපෙල
 
පුසුල්පිටිය විහාරයේ සිතුවම්

පුසුල්පිටිය පන්සලේ විහාරගෙය



දුටුගැමුණු රජතුමා රජකම බාරගත් ස්ථානයේ ඉදිකර ඇති චෛත්‍යය

පුසුල්පිටිය පන්සලට කොත්මලේ ජලාශය පෙනෙන අයුරු

පුසුල්පිටිය පන්සල

පස්සේ කාලෙක දුටු ගැමුණු කුමාරයා කාවන්තිස්ස රජුත් එක්ක අමනාප වෙලා පලායන්න හදද්දි විහාර මහා දේවි ඔහුව එව්වෙ කොත්මලේට.මේ විදිහට ආපු දුටුගැමුණු කුමාරයා කොටගේපිටියේ වීසුරුගෙදර වැඩකාරයෙක් විදිහට වෙස් වලාගෙන ජිවත් වෙන්න පටන් ගන්නවා. ගුත්තා , හිද්දලයා වගේ නම් වලින් දුටු ගැමුණු කුමරු අප්‍රසිද්ධියේ පෙනි ඉදලා තියෙනවා වගේම තමන් පදිංචි වුන ගෙදරම හිටිය රන්මැණිකාව විවාහ කරගත්තත් ඇයටවත් තම රහස එළි කරන්නේ නැ.මේහෙම කාට හැංගුවත් ඒ වෙන කොට ගමේ ජිවත් වෙච්ච පොන්න නැකැත්තගෙන් ඒ රහස සගවන්න කුමාරයාට බැරි වෙනවා. දුටුගැමුණු කුමාරයා දකින හීනයක තේරුම දැන ගන්න පොන්න නැකැත්තා ලගට යද්දි තමයි මේ රහස එළිවෙන්නේ.

බොල හිද්දලයෝ තෝ කිරි බත් කන්නෙත් හරියට අපේ දුටු ගැමුණු කුමාරයා යුද්ධ කරන්ට හදන තාලෙටනේ

අපේ මේ ගැමුණු කුමාරයා තමනිගේ පිය රජතුමත් එක්ක තරහ වෙලා අපි අර මුලින් කිවුව දෙහදු කඩුල්ලෙන් නැත්තන් කඩදොරෙන් ඇතුල් වෙලා එනවනෙ මාස්වෙල ඌරුගම්පැලැස්සෙ වීසුරුගෙදරට. ඉතින් මේ ගෙදර පිරිසත් එක්ක කාලය ගත කරද්දි මේ ගෙදර හිටිය රංමැනිකාව පෙලවහට ගත්ත බව අපි කරවුරුත් දන්නවනෙ. ඉතින් එහෙම ඉන්න ගමන්ම කුමාරයා මාවෙල වෙල් යාය අස්වැද්දුවා. ඒ වෙන මොකටවත් නෙමෙයි යුද්ධ කාලෙකදි උවමනා වෙයි කියලා.. ඒ කාලේ ගුත්තා කියලා පෙනි හිටපු කුමාරයා මේ කුඹුරු යායෙන් හොද අස්වැන්නක් ලබා ගත්තලු...අන්තිමට අස්වැන්න කපලා ඉවරවෙලා ගමගෙදරට වි ටික ගෙනියන්න හදනකොට කුමාරයා කලේ කමතේ ඉදන් ගම ගෙදරට යනකන් බිම දිගේ කෙවිටකින් ඉරක් ඇදපු එකයි. ඒ ඇදපු ඉර දිගේ අර වී ටික ගම ගෙදරටම ඇදිලා ගියාලු. 

             මේ  අලුත් අස්වැන්නෙන් පළමුවෙන්ම කිරිබතක් උයලා කුමාරයට දිලා තියෙනවා.. උණු උණුවෙන් දීපු මේ කිරිබත් ටික කන්ට හදිස්සි වෙච්චි කුමාරයා තැනින් තැන ඇගිල්ලෙන් ඇන ඇන කන්ට පටන් අරගෙන. මේක දැකපු වයසක ආච්චි අම්මා කෙනෙක් ගත් කටටම කිව්වලු බොල හිද්දලයෝ තෝ කිරි බත් කන්නෙත් හරියට අපේ දුටු ගැමුණු කුමාරයා යුද්ධ  කරන්ට හදන තාලෙටනේ කියලා..ඒක අහපු කුමාරයා අහලා තියෙනවා ඇයි එහෙම කියන්නේ කියලා..එතකොට ඒ වයසක උන්දැ කියල තියෙන්නේ ඔහොම කුරුල්ලෝ කොටනවා වගේ තැනින් තැන කලබලේට කන්ට හොදත් නැ යුද්ධ කොරන්ට හොදත් නැ..පිළිවෙලකට එක කොනක ඉදන් කන්ට පුරුදු වුනොත් අනික් හැම වැඩක්ම පිළිවෙලකට කරන්ට පුරුදු වෙනවා කියලා...කුමාරයා පස්සේ කාලේ යුද්දෙ පටන් ගත්තම ඇගේ උපදේසයත් ඒ විදිහටම පිළිපැද්දා කියලයි කියන්නේ...

ගැමුණු කුමාරයාගෙ සම්පූර්ණ කතාවම අපි කියන්න යන්නෑ. මොකද බොහෝ දෙනෙක් මේ කථාව හොදට දන්නව. අනිත් කාරණය තමයි ජයන්ත චන්ද්‍රසිරි මහත්තයගෙ මහරජ ගැමුණු චිත්‍රපටය නැරඹුවානම් නොදන්න අයට වුනත් දැනගන්න ප්‍රමාණවත්.


ගැමුණු කුමාරයා අස්වැද්දූ මාවෙල වෙල්යාය

දසමහා යෝධයෝ ප්‍රමුඛ පෙරහැර පැමිණ ගැමුණූ කුමාරයාට රජකම බාරගන්න යැයි ඉල්ලීම(මහරජ ගැමුණු චිත්‍රපටයෙන්)

ගැමුණු කුමරු බිරිද රන්මැණිකා සහ සාලිය කුමරු සමග මාගම බලා පිටත්ව යෑම..:(මහරජ ගැමුණු චිත්‍රපටයෙන්)


පි මහැවැලි මහා සෑය වදින්න යමු.

1979 දී ආරම්භ කරපු කොත්මලේ ජලාශ ව්‍යාපෘතිය නිසා බොහෝ පිරිසකගෙ ගම් බිම් නැති වුනා. එවකට මහවැලි සංවර්ධන අමාත්‍යවරයා වූ ගාමිණී දිසානායක මැතිතුමන්ගේ මුල් ඉඩම් පවා යට වෙනව. මේ අතරම මේ අවට තිබුන වෙහෙර විහාර බොහොමයත් මේත් සමගම වතුරෙන් යට වෙලා යනව. මේ හේතුව නිසාම ගාමිණී දිසානායක මහත්තයා තීරණය කරනව මේ සියලුම දේ සිහි කරල චෛත්‍යයක් බදින්න.

මේ චෛත්‍යය ඉදිකරන්න තීරණය වෙන්නෙ කඩදොර කන්ද මුදුනෙ. මෙයට මුල්ගල තබන්නෙ 1983දී. මේ චෛත්‍යය ඉදිකරන අතර තුර 1994 වසරේ ඔක්තෝම්බර් 23 වනදා රාත්‍රියේ කොළඹ තොටළඟ ප්‍රදේශයේදී ජනාධිපති මැතිවරණ ප්‍රචාරක රැලියකදී ගාමිණී දිසානායක LTTE මරාගෙන මැරෙන බෝම්බයකට හසු වී ඝාතනයට ලක් වෙනවා. මෙයින් පසුව දේශපාලනඥයන්ගේ එතරම් අවධානයට ලක් නොවුනත් විවිධ පිරිස් වල මැදිහත් වීමේන් යම් මට්ටමකට ගොඩනැගෙන අතර 2016 ජූනි 20 වනදා ගමිණී දිසානායක මහතාගෙ පුත්‍රයා වන නවීන් දිසානායක මහතාගේ මැදිහත්වීමෙන් වැඩ නිම කර ජනතා අයිතියට පත් කරනව. මේ චෛත්‍යය නිර්මානය කරපු නිර්මාණ කරුවන් රුවන්වැලි සෑයට කරන ගෞරවයක් ලෙස ඊට වඩා අඩි දෙකක් උස අඩුවෙන් නිර්මාණය කරනව. මීටර් 88 ක උසකින් යුක්ත වේ. එබැවින් එය රුවන්වැලි ස්ථූපයේ ප්‍රමානයට ආසන්න වන විශාල ප්රමාණයේ විශාල ස්තූපයක් වේ. මෙම නිර්මාණය සැලසුම් කර ඇත්තේ සුප්‍රසිද්ධ ඉංජිනේරු, ආචාර්ය එස්. කුලසිංහ මහතා විසිනි. මූලික නිර්මාණය අතින් කළුතර ස්තූපයට සමානතාවයක් දක්වයි. එහි ඇතුලත කුඩා ස්තූපයක් ඇති අතර, එයට ලඟාවීමට වන්දනාකරුවන්ට චෛත්‍යයේ ගර්භය තුලට ඇතුලුවීමට ඉඩ සලසා ඇත‍ෙ



කොත්මලේ මහවැලි මහා සෑය



මහැවැලි මහාසෑය Google Maps වල දැක්වෙන අයුරු



 මෙහි Street view බලන්න මෙතිනින් යන්න

 මීලග ලිපියෙන් අපි හැටන් ගග බලන්න යමු

සටහන - චතුරංග ජයසුන්දර

No comments:

Post a Comment