Sri Lanka

Thursday, August 8, 2013

රෑ වැඩ මුරය අවසන් වන කණිසමට... නුඹෙ මුව පෙනෙයි පරවුණු කුසුමක් ලෙසට


අද දව‍ස ජාත්‍යන්තර කම්කරු දිනය නිසාම අ‍තොරක් නැතුව පීකර වලින් මහ සද්දෙට ඇ‍හෙන සටන් පාඨ මැද්දෙම අපිට ලියන්න හිතුන ඒ තරම්ම අවධානයක් ‍නොලබන වැඩ කරන පිරිසක් ගැන. ඒ තමයි ඇගලුම් කමිහල් වල ‍සේවය කරන අ‍පේ ස‍හෝදර ස‍හෝදරියන්. ඔවුන් අපිට ලැ‍බෙන වි‍දේශ විනිම‍යෙන් ‍‍කොටසකට ඍජුවම දායක ‍වෙනව. 

වැඩි හරියක්ම ‍මේ කම්හල් වල ‍සේවය කරන්‍නෙ දුප්පත් කමින් මිරිකිල ගියපු තමන්‍‍ගෙ පවුල් රැකගන්න ‍වෙර දරන අපේ සුවහසක් ස‍හෝදර ස‍හෝදරි‍යො තමයි. ගොඩක් ‍වෙලාවට දළිදු පවුල් වල අ‍පේ සහෝදරියො කරන්නෙ සාමාන්‍ය පෙළ විභාගය ලියනවත් එක්කම ගාමන්ට් එකක් හොයන් යන එක තමයි. ඔවුන් දන්නව ‍බො‍හෝ වෙලාවට ‍ගොවිතැන් කරමින්, කුලී වැඩ කරමින් ජීවත් වෙන තමන්ගෙ අම්මටයි තාත්තටයි තමන්‍‍ගෙ පවුල රැකගන්න අමාරුයි කියල. ඒ ව‍ගේමයි තවත් බාල සහෝදර ස‍හෝදරි‍යො ඉන්නවනම් ඒ අයට උගන්වන වගකීමත් ඔවුන්ම ගන්නව. අවසා‍නෙදි තමන් කසාද බැදල යන දවසට අරන් යන්න යමක් කමක් හොයා ගන්නෙත් ‍මේ ගාමන්ට් රස්සා‍වෙන් තමයි. ඔවුන් ‍මේ කමිහල් තුළ ‍ගෙවන්නෙ පුදුමාකාර දුක්ඛිත ජීවිතයක්.

ඔවුන් තමන්‍‍ගෙ රෑ වැඩ මුරය අවසන් කරල එන දිහා බලන් හිටි‍යොත් ඒ මුහුනු පෙ‍නෙන්‍නෙ හරියට පරවෙච්ච මලක් ව‍ගේ. ඒ ව‍ගේමයි උ‍දේ එළිය වැටෙද්දි ‍සේවයට යන්න සූදානම් ‍වෙලා ඉන්න ඉන්න අයගෙ මුහුනු වලත් කිසිම එලියක් නම් දකින්න නැහැ. ඔවුන්ගෙ ජීවිත‍යෙ හොදම කාලය ‍ගෙ‍වෙන්නෙ ‍මේ ඇගලුම් කම්හල් වල තමයි.

ඉතින් ඔවුන් විදින මේ දුක දකින බන්දුල නානායක්කාරවසම් මහත්මය‍ගෙ හිතේ ‍බො‍හොම අපූරු පද සංකල්පනාවක් මැ‍වෙනව. ඒ ස‍හෝදරි‍යො විදින දුක ‍බො‍හොම අපූරුවට ඔහු ගීයකට නගනව. ඔහු අහනව ‍මේ මහන මැෂිමෙ ස‍ද්දෙ අත‍රෙන් මැෂිමද එ‍හෙමත් නැත්තං නු‍ඹේ හිතද මහ හයි‍යෙන් හඩන්‍‍නේ කියල. ඔ‍බෙන් නැ‍ගෙන කදුළැලි මහ සාගරය තරම් ව‍‍ගෙයි කියල.

ඉතින් ‍ඔහු‍ගෙ සුන්දර පද වැලත් එක්ක ‍බො‍හොම අපූරු ‍යෙදුමකින් තමයි ඔහු තමන්ගෙ පද වැල අවසන් කරන්‍නෙ. ඇඳුමද නුඹේ ජීවිතයද මහන්නේ....."

ඉතිං අපිත් අ‍පේ හි‍තේ ඔවුන් ‍වෙනු‍වෙන් නැ‍ගෙන අනුකම්පාවත් එක්කම අහන්නෙ 
ඇඳුමද නුඹේ ජීවිතයද මහන්නේ.....?

රෑ වැඩ මුරය අවසන් වන කණිසමට
නුඹෙ මුව පෙනෙයි පරවුණු කුසුමක් ලෙසට
අරුණළු කැරලි වැටෙනා සඳ අළුයමට
නුඹේ ලොවට රෑ වෙයි පෙර කල පවට

තුන් තිස් පැයේ දෑඟිලි නිදි වරන්නේ
නිල් එළියටයි පෙති ගෝමර දැවෙන්නේ
මල් විය නොවෙද මේ දියකර හරින්නේ
මැසිමද හිතද මහ හයියෙන් හඬන්නේ

රෑ වැඩ මුරය ...

නුඹෙ කඳුලැලිද සයුරේ රළ නඟන්නේ
හද සුසුමන්ද පවනක් වී හමන්නේ
තනි නොතනියට හෙවනැල්ලද සිටින්නේ
ඇඳුමද නුඹේ ජීවිතයද මහන්නේ

පද රචනය: බන්දුල නානායක්කාරවසම්
සංගීතය: රෝහණ වීරසිංහ

ගීතය ‍මෙතනින් නරඹන්න. ‍මේ වීඩියෝව තුළ ඔවුන්ගොසැබෑ තත්වය ‍හොදින්ම පෙන්නන්න උත්සාහ කරල තියනව.http://www.youtube.com/watch?v=RQ-PMsq6cyQ

No comments:

Post a Comment