Sri Lanka

Friday, August 9, 2013

පෙම්බර මධු මගේ


හැටේ දශකය අග භාගයේ දී විතර ගුවන් විදුලියෙන් බොහොම අපූරු නැවුම් ගී හඬවල් තුනක් අපට අසන්ට ලැබුණා. හැටේ දශකයේ කිවුවට ඉතින් මේ ලිපිය ලියන මම නම් හැටේ දශකයේ නෙමෙයි. නමුත් අපි කියමුකො ශ්‍රී ලාංකික රසිකයන්ට අහන්න ලැබුන කියල. අපි දන්න විදියට ඒ කාලෙ තිබුන එකම විද්‍යුත් මාධ්‍යය තමයි ගුවන් විදුලිය. එක් ගී හඬක් මිල්ටන් මල්ලවආරච්චිගේ. අනිත් ගී හඬ මහාචාර්ය සංගීත් නිපුන් සනත් නන්දසිරිගේ. තුන්වැනි ගී හඬ තමයි අද මේ කතා කරන වික්ටර් රතනායකයන්ගෙ හඩ.

එක් පැත්තකින් ආචාර්ය පණ්ඩිත් අමරදේවයනුත් තවත් පැත්තකින් එච්.ආර්. ජෝතිපාලයනුත් අතර වන අන්ත දෙක ඇතුළේ සරල ශාස්ත්‍රීය ගීතය රසිකයන් ගේ ආනන්දය වඩවන කලාවක් බවට පත් කළේ සනත් හා වික්ටර් යන ගායකයන් දෙදෙනා බවට විවාදයක් තියෙන්න විදිහක් නැහැ.
හැත්තෑව දශකයේ තාරුණ්‍යයේ ගායකයා වුණේ වික්ටර්. 1973 දී ආරම්භ වුණු ප්‍රසංගයෙන් මෙය වඩාත් ප්‍රත්‍යක්ෂ වුණා. අපි වික්ටර් රත්නායකයන්ගෙ ප්‍රසංගය ගැන මීට කලින් පල කල සද කැන් වැසිලා කියන ලිපියෙනුත් කතා කලා කට්ටියට මතක ඇති.

ප්‍රසංගය හේතුවෙන් ආර්ථික වශයෙන් ශක්තිමත් වුණු සංවිධායකවරුන් රැසකුත් අපේ රටේ ඉන්නවා. වරක් එක් පුද්ගලයෙක් කළුතර පුරහලේ දී ප්‍රසංගයක් සංවිධානය කළා. ඔහු එහි ලාබයෙන් කළුතර බෝඹුවලින් පර්චස් හතක ඉඩමක් ගත්තා. ඊළඟ අවුරුද්දෙත් ඔහු ප්‍රසංගය ඒ විදියටම සංවිධානය කළා. ඔහු ඉන් ලත් ලාබයෙන් ඉඩමේ කඩ කාමරයක් හැදුවා. ඔහු ආයෙත් සැරයක් ප්‍රසංගය සංවිධානය කළා. ඒ ලාබයෙන් කඩයට බඩු ගෙනැත් දැම්මා. ඒ නිසාම මිනිස්සු මේ කඩයට කිව්වේ යනු කඩේ කියලා. මේ වගේ උදාහරණ ඕනෑ තරම් තියෙනවා. මේ සියල්ලෙන් ඔප්පු වෙන්නේ එකල ප්‍රසංගයේ පැවති අසීමිත සාර්ථකත්වය
.
ඔය කාලෙදිම වගේ වික්ටර් රත්නායකයන්ගෙ ගී හඬ අපට චිත්‍රපට වෙතිනුත් ඇසෙන්ට වුණා. ඉතින් ඔහු ගීත ගායනා කල එක් චිත්‍රපටයක් තමයි "පෙම්බර මධු" කියන්නෙ. ගොඩක් අය මේ ච්ත්‍රපටය ගැන මුකුත්ම දන්නෙත් නැතුව ඇති. එ හින්ද අපි කතාව කෙටියෙන් මේ විදියට කයන්නම්කො.

එක්තරා වලව්වක පුතෙක්(විඡය කුමාරතුංග) වලව්වෙම වැඩ කරන ගෑනු කෙනාගෙ දුව(මාලනී ෆොන්සේකා) එක්ක පුංචි කාලෙ ඉද‍ල යාලුවෝ විදියට ඉන්නව. දෙන්නම හොදට ඉගෙන ගන්නව. පස්සෙ දෙන්නම කැම්පස් යනවා. හැබැයි දෙන්නා batch 2ක. මේ දෙන්න පෙම්වතුන් බවට පත් වෙනව කාලයත් එක්කම.

විජේට වත්තක් බලා ගන්න දෙනවා එයාගෙ මාම... මේ වත්තෙ සුපිරින්ටන්ඩන්ගෙ නෝනා (ගීතා කුමාරසිංහ) හුගක් තරුණයි සුපිරින්ටන්ඩන්ට වඩා (එයත් මාලනීගෙ batch එකේමයි) විජේ වත්තට ගිය දා (යාලුවා එක්ක(රවීන්ද්‍ර රන්දෙණිය)) මෙයා විජේව වරදට පොලබවා ගන්න උත්සාහ කරනව. මේක රවී දැකල ප්‍රෂ්නයක් ඇති වෙනවා. මාලනීත් විජේ එක්ක තරහ වෙනව. විජේ final exam fail වෙනවා.....

මාලනී කලින් විඡේව පොරොන්දු කරන් ඉන්නෙ degree ඉවරවෙලා අවුරුදු 3කින් ගුරුවරියක් වෙන්න ඕනි කිහලා. මේ අවුරුදු 3 ඉවරවෙන දා විජේ මාලනීව මුනගැහෙන්න එනවා...මේ වෙනකොටත් මාලනී විජේව බදින්න කැමති නෑ. වෙන කෙනෙක්ව බදින්න හදනවා. විජේ කියලා ඒකත් නවත්තනවා.(මගුල් ගෙදර දවසෙ මනමාලයා එන්නෙ නෑ) ඊට පස්සෙ doctor කෙනෙක් බදින්න හදනවා. විජේ ඒකත් නවත්තන්න doctorට කතා කලාම doctor කියනවා දවස් 3ක් ඇතුලත මාලනී කැමති කර ගන්න නැත්නම් බෑ කියලා.

මාලනීව කැමති කර ගන්න විජේ මාලනී නැවතිලා ඉන්න තැනට යනවා. (විජේගේ නැන්දගේ ගෙදර තමයි මේ වෙනකොට මාලනී නැවතිලා ඉන්නෙ.) විජේ එහෙට ගියාම මාලනී විඡ්ට කියන්නෙ " ඔයාට කාම ආෂාවට මාව ඕනිනම් ඒක සන්සිදුවගෙන යන්න ඒත් දැන් මම ඔයාට කැමති නැහැ" කියලා. ඒ කතාවත් එක්ක විජේට කලකිරිනවා. මාලනීව ආයෙත් ගෙදරට බස්සවලා විජේ යනවා. විජේ නැන්දගේ දූව බදින්න පොරොන්දු වෙනවා(නැන්දගේ දූව තමයි මාලනීගෙ හොදම යාලුවා). ඒ මාලනීට දාන්න ගේන මුද්ද නැන්දගෙ දුවට දාල.

මේ කලකිරීමත් එක්ක විජේ රට යන්න හදනව. විජේ රට යන්න හදන දව‍සෙ මාලනී එනවා. නැන්දගේ දූවට දාපු මුද්ද ඉල්ලගෙන ආයෙත් විජේ මාලනීට දානවා ...

ගොඩක් ලස්සන කථාවක් ඒක.....
හැබැයි ඔය චිත්‍රපටියේ තිබුණු "පෙම්බර මධු මගේ" කියන සින්දුව නම් කවදාකවත් අමතක වෙන එකක් නෙමේ!

එ සින්දුව මෑත කාලෙ මම සිය පාරක් විතර අහල ඇති ඒත් එපා වෙන්නෙ නම් නැහැ. ඒක එච්චර මගේ හිත ගත්තු සින්දුවක්. ගායනය විතරක් නෙමේ, මියුසික් සහ තනුවත් අසමසමයි.

මෙන්න සින්දුවේ පදමාලාව. රචනය කරුණාරත්න අබේසේකරයන්ගෙ.

පෙම්බර මධු මගේ මා නැතේ ඔබෙන් මිදුනේ
සුරූපි දේහ විලාසේ මැවේ මැවේ නයනේ
පෙම්බර මධු මගේ පෙම්බර මධු මගේ

ලොවේ හි ඈත අනන්තේ පැලක් තුලේ නොපෙනී
ඇතත් හොරෙන් හැංගීලා මගේ දුකත් නොදැනී
අරං එමී ඔබ කැන්දා ඇසිල්ලකින් පැමිණී
සුරූපි දේව විලාසේ මැවේ මැවේ නයනේ
පෙම්බර මධු මගේ පෙම්බර මධු මගේ

වඩාලා දෝත පුරාලා පරෙවි කුමාරිය සේ
සුගන්ධ මල් යහනාවේ හොවා පෙමින් සිතු සේ
පවන් සලා ඔබ සනසම් ළදල්ලකින් සුවසේ
සුරූපි දේහ විලාසේ මැවේ මැවේ නයනේ
පෙම්බර මධු මගේ පෙම්බර මධු මගේ

අපේ ම පාළු විමානේ නිසංසලේ සහනේ
අමා පැණින් මත් මත්වීලා ඔබේ දෙතොල් බඳුනේ
විඳින්නෙමී රස මදිරා පෙරුම් පිරූ ලෙසිනේ
සුරූපි දේහ විලාසේ මැවේ මැවේ නයනේ
පෙම්බර මධු මගේ පෙම්බර මධු මගේ

සංගීතය - පී.එල්.ඒ.සෝමපාල
ගායනය - වික්ටර් රත්නායක 

වික්ටර් රත්නායකයන් " ස" ප්‍රසංගයක එ ගීය ගයන විදිය බලන්නකො මේ ලින්ක් එකෙන් http://www.youtube.com/watch?v=hsIJEoFastU&feature=share

ඉතින් අපි ආස කරන යම් යම් දෙවල් තුළ පුංචි පුංචි අසුන්දර දෙවල් තියෙන්නත් පුලුවන්. ඒක මේ ලින්ක් එකෙන් ගිහින් මේ වීඩියොව බැලුවම තේරෙයි.
http://www.youtube.com/watch?v=ihON0Gx-nn4&feature=player_embedded

පොඩි වෙනස්කම් තියෙනවා වගේ පේනව මේ උර්දු සහ සිංහල සින්දුවේ තනු වල. ඉන්ටර්ලූඩ් නං ගොඩක් සමානයි. එකම රාගයක් පදනම් කරගෙන හැදුවම ඔය වගේ දේවල් වෙන්න පුලුවන් කියලයි සමහරු කියන්නෙ. හැබැයි වික්ටර් රත්නායකගේ කටහඬට නං ගහන්න කටහඬක් නෑ උර්දු සින්දුවේ. කවුරු හරි දන්නවනම් කියල දෙන්න අපිටත් ඇත්තටම මේක කොපි කීරීමක්ද, නැත්තං අහඹු විදියට තනු දෙක සමාන උනාද කියල. 

ඒත් මේ පෙම්බර මධු ගීතයෙන් ඇහෙන වික්ටර් රත්නායකයන්ගෙ කට හඩේ නම් අමුතුම ලස්සනක් තියෙන්නෙ. ජෙට් ඕඩියෝ එකට සින්දුව දාගත්තම ඇති තරම් අහන්න පුලුවන් නැවත නැවත. අවසාන වශයෙන් කියනව වික්ටර් රත්නායකයන්ට අපහාස කරන්න නම් නෙමෙයි මේ අනිත් වීඩියොව අරන් ආවේ. අහඹු විදියට තමයි මේක හම්බ වුනේ.

එහෙනම් ඔයාලට ජය!

No comments:

Post a Comment